|

යුද්ධෝපාය යෙදීමේ සිදුවීම | Grade 10 Sinhala

යුද්ධෝපාය යෙදීමේ සිදුවීම.

මේ වන විට කේවට්ටාචාරීන් සහ චූලනී බ්‍රහ්මදත්ත රජු විසින් මියුලු නුවර යටත් කර ගැනීම පිණිස සියලු  කටයුතු සූදානම් කරයි. ඒ සඳහා අනුගමනය කරනු ලබන උපක්‍රමයක් ලෙසින් යුද්ධෝපාය යෙදීමේ සිදුවීම අපට සාකච්ඡා කළ හැකිය. මේ ඒ පිළිබඳ ව සැකසුණු සටහනකි. 

මහෞෂධ පඬිතුමාණන් විසින් බ්‍රහ්මදත්ත රජුන්ගේ සැළසුම පිළිබඳ මුලින් දැනුවත් වී සිටි හෙයින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවෙයි. මේ අතර චූලනී බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර වාසීන්ගේ සැණකෙළි හඬ අසා එම සැණකෙළිය පවත්වන්නේ කුමන හේතුවක් නිසාදැ යි විමසයි. එය වේදේහ රජුගේ කුඩා කල සිටම තිබූ ආශාවක ප්‍රතිඵලයක් බව රාජපුරුෂයන්ගෙන් දැනගත් විට බ්‍රහ්මදත්ත රජු තවත් කෝප වෙයි. අනතුරුව බ්‍රහ්මදත්ත රජු මියුලු නුවරට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු සූදානම් කරයි. නමුත් මහෞෂධ පණ්ඩිතයන්ගේ සේනාව හමුවේ චූලනී බ්‍රහ්මදත්ත රජු අඩපණ වෙයි. එහෙයින් පළමු ප්‍රහාරය අසාර්ථක විය. 

චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ටයන් අනතුරුව වෙනත් උපක්‍රමයක් භාවිත කරගනී. එනම් මියුලු නුවරට ජලය රැගෙන යන මාර්ගය වසා දැමීමයි. නමුත් මහෞෂධ පණ්ඩිතයන්ගේ තියුණු ඥාන ශක්තිය හේතුවෙන් ඔවුනගේ උපක්‍රමය විනාශ විය. නුවර ඇතුළත ජලය පිරී ඉතිරී පවතින ස්වභාවයක් පෙනී යාමෙන් බ්‍රහ්මදත්ත රජුගේ දෙවන ප්‍රයත්නය ද ව්‍යර්ථ වී යයි. 

මීළඟට ඔවුන් දෙපලගේ වෑයම වූයේ මියුලු නුවරට ධාන්‍ය රැගෙන යාම වැළැක්වීමයි. මෙම අවස්ථාවේදී ද ස්වකීය ප්‍රඥාවෙන් කටයුතු සිදු කළ මහෞෂධ පණ්ඩිතයන් සතුරන්ගේ උත්සහය තුරන් කරයි. එනම් නුවර ඇතුළත උපරිමයෙන් ම ආහාර ද්‍රව්‍ය ඇති වග බ්‍රහ්මදත්ත රජුන්ට හා කේවට්ටයන්ට පෙනෙන්නට සැලැස්වීමයි. එහෙයින් එකී වෑයම ද අසාර්ථක විය.

නුවර තුළට දර ගෙන යාම නැවැත්වීමට අනතුරුව දෙදෙනාම කතිකා කරගනී. ඒ අනුව මියුලු නුවර ඇතුළට දර ගෙන යාම වැළැක්වීය. එහෙත් මහෞෂධ පණ්ඩිතයන්ගේ උපක්‍රමය අනුව එය ද ව්‍යර්ථ කරයි. ‌චූලනී බ්‍රහ්මදත්ත රජුට හා කේවට්ටයන් දැවැන්ත පරාජයක් ලැබෙයි. එකී පරාජය හමුවේ යුද්ධෝපාය ලෙසින් යෙදූ සියලු ම උපක්‍රමයන් ව්‍යර්ථ වී යයි. 

මේ ආකාරයෙන් සතර කන් මන්ත්‍රණය පාඩමෙහි යුද්ධෝපය යෙදීමේ අවස්ථාව පිළිබඳ සංක්ෂිප්ත ව සඳහන් කළ හැකිය.

Download 04

Similar Posts