|

මියුලු නුවර වැටලීමේ සිදුවීම | Grade 10 Sinhala

මියුලු නුවර වැටලීමේ සිදුවීම

උම්මග්ග ජාතකය තුළ ඉදිරිපත්වන සතර කන් මන්ත්‍රණය කොටසෙහි ඇතුළත් මියුලු නුවර වැටලීමේ සිදුවීම මෙසේ සාකච්ඡා කළ හැකිය.
චූලනී බ්‍රහ්මදත්ත රජුගේ සහ කේවට්ට්ගේ සැලැස්ම වූයේ එක් සියයක් රජ දරුවන් හට විෂ යෙදූ රා පෙවීමටයි. එහෙත් ඒ සඳහා උපක්‍රමශීලී ව ක්‍රියා කළ මහෞෂධ පඬිතුමාණෝ එකී කාර්යය ව්‍යර්ථ ක‌ළහ. මේ පිළිබඳ ව වෛරයකින් සිටි චූලනී බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර අල්ලා ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කරවයි. ඒ සඳහා අවශ්‍ය උපදේශයන් කේවට්ටගෙන් ලබා ගනී. මෙහි දී බ්‍රහ්මදත්ත රජු දැඩි ආවේගශීලීත්වයෙන් යුතුව කටයුතු කරයි. 

“එව, පින්වත්නි, මියුලු නුවර ගොස් වේදේහ රජ්ජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඬනා සේ කඩුවෙන් කපා පියා දෙ පයින් මැඬ ගෙන හිඳ ජය පානය බොම්හ. ”
“එක් සියයක් රජ දරුවන් හා අටළොස් අක්ෂෞහිණියක් පමණ සේනාව හා පිරිවරා ඒ මියුලු නුවරට යම්හ.”

අටළොස් අක්ෂෞහිණියක් යනු

  • අතුන් : 21870
  • අශ්වයින් : 65610
  • රථ : 21870
  • සේනාව : 109350

එහෙත් මෙහි දී කේවට්ටාචාරීන්ගේ සිත තුළ පැවතියේ වෙනත් අදහසකි. බ්‍රහ්මදත්ත රජුට කෙතරම් සේනාවක් සිටිය ද මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා බල මහිමයට කිසිදු හානියක් සිදු නොකළ හැකි බව යන ආකල්පය යි. කේවට්ටයන් මහෞෂධයන්ගේ තීක්ෂණ බුද්ධිය පිළිබඳ ව අවබෝධ කරගත්තෙකි. එහෙත් මේ කිසිදු දෙයක් බ්‍රහ්මදත්ත රජුට පැවසුව ද එතුළින් රජුගේ සිත වෙනස් කළ නොහැකි විය. එහෙයින් විශාල සේනාවක් රැගෙන මියුලු නුවර අල්වා ගැනීමට රජු පිටත් වෙයි. රජුගේ තීරණය පසෙක දැමිය නොහැකි බැවින් කේවට්ටයන් ද ඒ ගමනට එක් වෙයි. 

මේ අතර චූලනී බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර ග්‍රහණය කර ගැනීම පිණිස පැමිණෙන බව චර පුරුෂයන් මගින් මහෞෂධ පණ්ඩිතයන්ට ආරංචි වෙයි. එහි දී මහෞෂධ පණෟඩිතයන්ගේ චර පුරුෂයන් බ්‍රහ්මදත්ත රජුන්ගේ ආක්‍රමණය පිළිබඳ ව තොරතුරු නොකඩවා බෝසතාණන් වහන්සේ වෙත දන්වා එවයි. 

චූලනී බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර වටා තම චතුරංගනී සේනාව සතර වළල්ලක් සේ වටකොට සිටුවා තබන අයුරු රචකයා පෙන්වා දෙයි. 

“වශවර්ති මාරයාගේ සිංහ මුඛ, හස්ති මුඛ, අශ්ව මුඛ, ව්‍යාඝ්‍ර මුඛාදී වූ නොයෙක් භයංකර මුඛ මවා අසි, ශක්ති, තෝමර, භෙණ්ඩිවාල, කරවාලාදී වූ දීප්තිමත් නානාවිධ අවි ගනිමින් අනේක ප්‍රකාර විකාර වේශයෙන් ආ දස බිම්බරක් මාර සේනාව සේ භයංකර වූ සේනාවෙහි බාහුවෙන් බාහුව ගසා සිටුවන ලද්දා වූ යෝධ වළල්ලෙකින් දැයි මෙසේ සතර වළල්ලෙකින් ඒ සත් යොදුන් මියුලු නුවර වට ලවා ඒ ඒ ස්ථානයෙහි බළ ඇණි සිටුවූහ.”

මේ අතර මියුලු නුවර වටලා සිටින බ්‍රහ්මදත්ත රජුගේ සේනා නගන මහත් ඝෝෂා අසා බියට පත් වූ සේනක පුක්කුසාදී පඬිවරු සතර දෙන රජුන් හමු වෙයි. මෙහි දී රජු හා පඬිවරු සතර දෙනා අතර හමුවක් සිදුවෙයි.

මහෞෂධ පඬිතුමා මේ වන විට චූලනී බ්‍රහ්මදත්ත රජුගේ ආක්‍රමණය පිළිබඳ ව සියලු තොරතුරු අවබෝධ කරගෙන සිටිය ද මෙම පඬිවරු සතර දෙනා කිසිවක් දැන් සිටියේ නැත. මේ සිදුවීම වේදේහ රජු දැනගන්නේ සී මැදුරු කවුළුව ඇර බලන විටදී ය. රජු දැඩි ලෙස බිය වෙයි. වේදේහ රජු බියට පත් වී තැතිගෙන ඉන්නා අයුරු ඔහුගේ කතා බසින් රචකයා උචිත බස් වහරකින් ඉදිරිපත් කරයි. මහෞෂධ පණ්ඩිතයන් හා වේදේහ රජු හමුව අනතුරුව සිදු වෙයි. මෙහි දී වේදේහ රජතුමා විසින් බ්‍රහ්මදත්ත රජුගේ සේනාවෙහි ඇති ප්‍රබලත්වය පිළිබඳ ව මහෞෂධ පණ්ඩිතයන්ට ප්‍රකාශ කරන අතර, රජු පවසන්නේ බ්‍රහ්මදත්ත රජුට උපදෙස් ලබාදෙනු ලබන පුරෝහිත පඬිවරුන් දස දෙනෙකු ඇති බවත් තලතා දේවිය ඉන් එකොළොස් වැන්නිය වන බවත් යන්නයි. ඒ වග අවධාරණය කරනු ලබන්නේ ඇයගේ නඩු විසඳීමේ සිදුවීමක් මූලික කර එය අතුරු කතාවක් ලෙසින් ඉදිරිපත් කරමිනි. 

එක් දිනක් එක් මිනිසෙක් බත් මුලක් මසුරන් දහසක් හාල් මල්ලක් රැගෙන ගංගාවකින් එතෙර වන්නට පිටත් විය. එහි දී ගංගාවේ ජල පහරට අසු වී ඔහු අතරමං වේ. යම් අයෙකුගෙන් උපකාරයක් නොමැති ව ගංගාවෙන් එතෙර වන්නට නොහැකි වූ මේ මිනිසා වටපිට බලන අවස්ථාවේ ගං ඉවුරේ සිටි එක් පුද්ගලයෙක් දකියි. ඔහුට අමතා පවසන්නේ තමා බේරා ගතහොත් ඒ සඳහා කළගුණ සැලකීමක් ලෙස සිය සන්තකයෙහි ඇති බත් මුල, මසුරන් දහස හෝ හාල් මල්ල යන ඒවායින් තමන් කැමති දෙයක් ලබාදෙන බවයි. ඒ අනුව ගං ඉවුරේ සිටි මිනිසා ගඟ මැද සිටි පුද්ගලයාව බේරා ගනියි. අනතුරුව පොරොන්දු වූ පරිදි ඔහුගෙන් මසුරන් දහස ඉල්ලා සිටියි. එහෙත් බේරුණ පුද්ගලයා පවසන්නේ ලබා දෙන්නේ තමන් වඩාත් කැමති දේ බව යන්නයි. එහෙත් උපකාර පුද්ලයා එයින් අසතුටට පත් වී තමාට සිදු වූ අසාධාරණය හේතුවෙන් රජු හමුවට ද මෙකී අවනඩුව ඉදිරිපත් කරයි. නමුත් රජුගෙන් ද මේ සඳහා සාධාරණ තීරණයක් නොලැබුණි.

මේ අවස්ථාවේ මෙකී සිදුවීම දුටු බ්‍රහ්මදත්ත රජුගේ මෑණියන් වූ තලතා දේවිය පුද්ගලයින් දෙපළ ම කැඳවයි. එහි දී ගංගාවේ අතරමං වූ මිනිසාගෙන් විමසන්නේ ඔබ මෙම වස්තූන් තුනෙන් වඩාත් ම කැමති කුමකට ද යන්න ඇය ප්‍රශ්න කරයි. එහි දී ඔහු පවසන්නේ තමා මසුරන් දහසට කැමති වන බවයි. ඉන් පසු දේවිය තීරණයක් ලබා දෙයි. එනම් ඔබ කැමති මසුරන් දහසටනම්, එය උපකාර කළ පුද්ගලයා වෙතට ලබාදෙන ලෙසයි. ඒ අනුව ඇය සාර්ථක නඩු විසදුමක් ලබා දුනි.

මෙම සිදුවීම මහෞෂධ පණ්ඩිතයන්ට අනාවරණය කරන වේදේහ රජු බලාපොරොත්තු වන්නේ තලාතා දේවියගේ ප්‍රඥාව උද්දීපනය කිරීමයි. එහි අවසානයේ දී මහෞෂධ පණ්ඩිතයන්ට වේදේහ රජුගේ සිතේ පවැති බිය පිළිබඳ අවබෝධ වෙයි. අනතුරුව පඬිතුමාණන් රජුගේ සිතේ පවතින බිය දුරු කිරීම පිණීස වීරෝධාර අදහස් කිහිපයක් පවසයි. එය රචකයා මෙසේ ඉදිරිපත් කරයි. 

“රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදෙකු පිළිසරණ වන්නා සේ ද සා දුකින් පෙළෙන එකකුට භෝජනය මුත් අනිකක් පිළිසරණ නොවන්නා සේ ද පිපාසා ඇති එකකුට පැන් පුවහොත් මුත් ඒ පිපාසය නො සන්සිදෙන්නා සේ ද ………”

 “රාජ්‍ය සුව අනුභව කළ මැනව, මම කැටක් ගෙන කපුටු රැසක් පලවන එකකහු මෙන් ද දුන්නක් අල්ලාගෙන වඳුරු මුළක් එකක්හු පරිද්දෙන් ද අස්වාමික කරවා නිගණ්ඨ සේනවක් පිරිද්දෙන් ඉස් ලූ ලූ අත ලුහුබඳවා පියමි. එය මට භාර ය.. ”

මෙවැනි ප්‍රකාශ සිදුකර අනතුරුව මහෞෂධ පඬිතුමාණන් කදිම උපක්‍රමයක් යොදවයි. එනම් නුවර සියලු වැසියන් අමතා ඔවුන්ට ජය ප්‍රීතී ඝෝෂා නංවමින් උත්සවයක් පවත්වන ලෙස දන්වයි. එ මොහොතේ සිට ම නුවර වැසියන් ජය හඬ නංවමින් ප්‍රබල උත්සවයක් පවත්වමින් සතුටු වෙයි.

මේ අවස්ථාවෙන් පසු මියුලු නුවර වටලෑම යන සිදුවීම කතුවරයා අවසන් කරයි. අවස්ථා හා සිද්ධි නිරූපණය සේම උචිත බස්වහර, උපමා ආදී රචනෝපක්‍රම භාවිතයෙන් මෙකී සිදුවීම රසවත් අයුරින් රචකයා පාඨකයා වෙත ඉදිරිපත් කර ඇති අයුරු මැනවින් අවබෝධ කරගත හැකිය. 

Download 04

Similar Posts