|

ධර්ම යුද්ධය | Grade 10 Sinhala

ධර්ම යුද්ධය

සතර කන් මන්ත්‍රණය පාඩමෙහි අවසන් කොටස ලෙස දැක්වෙන්නේ ධර්ම යුද්ධයයි. මියුලු නුවර ග්‍රහණය කර ගැනීමට චූලනී බ්‍රහ්මදත්ත රජු සහ කේවට්ටාචාරීන්ගේ සියුම් උපක්‍රම යොදා ගත් බව අප දන්නා කරුණකි. එහෙත් ඒ සෑම අවස්ථාවක දී ම මහෞෂධ පණ්ඩිතයන් ස්වකීය තීක්ෂණ බුද්ධිය මෙහෙයවමින් ජය ගනී. අවසානයේ දී කේවට්ටයන් සහ බ්‍රහ්මදත්ත රජු වෙනත් උපක්‍රමයක් යොදා ගන්නේ මියුලු නුවර ග්‍රහණය කර ගැනීමටයි. ඒ කේවට්ටයන්ගේ නව අදහසක් අනුවයි. ධර්ම යුද්ධය තුළ පැහැදිලි වන්නේ එකී අවස්ථාවයි.

ධර්ම යුද්ධය කොටස ආරම්භ වන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජු මියුලු නුවර අතහැර දමා යාමට ගත් තීරණයෙන් අනතුරුවයි. ඒ කේවට්ටයන්ගේ නව උපක්‍රමයත් සමගිනි. එම උපක්‍රමය කේවට්ටයන් රජුට මෙසේ පැහැදිලි කරයි. එනම් , මහෞෂධ පණ්ඩිතයන් තමාට වඩා වයසින් බාලයෙකු බවත් ඔහුගෙන් තමාට වැඳුම් පිඳුම් ලැබෙන බවත්, ඒ අවස්ථාවේ සියල්ලන්ම ජයග්‍රහණය කරන බවත් පවසයි. එනිසා මෙය ඉතාමත් සාමකාමී ලෙස සිදුවන ජයග්‍රහණයක් බැවින් මෙයට ධර්ම යුද්ධය නම් වන බව කේවට්ටයෝ පැවසූහ. අනතුරුව බ්‍රහ්මදත්ත රජු විසින් එකී අභියෝගය මහෞෂධ පණ්ඩිතයන්ට ඉදිරිපත් කරන්නේ ධර්ම යුද්ධයට පැමිණෙන ලෙස ද දන්වමිනි. මහෞෂධ පණ්ඩිතයන් එකී අබියෝගය එක්සිතින් භාර ගනී. 

මහෞෂධ පඬිතුමා පසුදා උදෑසනින් වේදේහ රජු හමු වී, රජුගේ අෂ්ටවංක මාණික්‍ය ඉල්ලා ගනී. මේ අතර එ දින උදෑසනින් ම කේවට්ටාචාරීන් මණ්ඩපයට පැමිණ බොහෝ වේලාවක් මහෞෂධයන් එනතෙක් බලා සිටී. 

මැණිකත් රැගෙන පැමිණෙන මහෞෂධ පණ්ඩිතයන් දුටු කේවට්ටයන් හුනස්නෙන් නැගිට ඔහු ව පිළිගැනීමට සැරසෙන්නේ තමාට ත්‍යාගයක් ගෙනාවේ නැති ද යන ප්‍රශ්නයත් අසමිනි. එවේලෙහි මහෞෂධයන් සිය අත රැඳි අෂ්ටවංක මැණික කේවට්ට වෙතට දිගු කර එය බිම වැටීමට සලස්වයි. 

මැණික ගැනීම පිණිස බිමට නැමුණු කේවට්ටයන්ගේ කොන්ද අල්ලා බෙල්ල බිම උලයි. කිසිවක් සිතාගත් නොහැකි වූ කේවට්ටයන් දැඩි ලෙස අසරණ විය. මෙය දුටු චූලනී බ්‍රහ්ම දත්ත රජු හා එක් සියයක් රජවරුන්, කේවට්ට මහෞෂධ පණ්ඩිතයන්ට වැන්දේ යැයි සිතා පරාජය පිළිගෙන සිය සේනාව සමගින් උත්තර පඤ්චාල නුවර වෙත පලා යයි. 

මෙය දුටු කේවට්ටයන්  බ්‍රහ්මදත්ත රජු වෙතට දුව යයි. එහි දී ඔවුන් කේවට්ටයන්ව පිළිකුල් කරන නමුත් සිදු වූ සිදුවීමේ සැබෑ තත්ත්වය චූලනී බ්‍රහ්මදත්ත රජුන්ට පැහැදිලි කරයි. කෙසේ හෝ ඉතා අපහසුවෙන් බ්‍රහ්මදත්ත රජු හා සේනාව සිය මතයට නැඹුරු කරගැනීමට කේවට්ට සමත් වෙයි. පසුව  පලා යන සේනාව ද රැගෙන බ්‍රහ්මදත්ත රජු නැවතත් මියුලු නුවර වැටලීම පිණිස එක් සියයක් රජ දරුවන් හා ගමන් කරයි. මෙම සිදුවීමෙන් පසු ධර්ම යුද්ධය කොටස අවසන් වේ. 

මේ අනුව සතර කන් මන්ත්‍රණයේ අවසන් කොටස වූ ධර්ම යුද්ධය පිළිබඳ සඳහන් කළ හැකිය. 

Download 04

Similar Posts