සතර කන්මන්ත්‍රණයේ විශේෂතා | Grade 10 Sinhala
සතර කන්මන්ත්‍රණයේ විශේෂතා
1. බ්‍රහ්මදත්ත රජුගේ සහ කේවට්ටගේ සතර කන්මන්ත්‍රණය සිදුවන ආකාරය.
කේවට්ට යනු සැබෑවට ම බලයට කෑදරයෙකි. ඔහු තම බලය වර්ධනය කර ගැනීම පිණිස චූලනී බ්‍රහ්මදත්ත රජුන්ව අවියක් ලෙසින් භාවිත කරගනී. ඒ හේතුවෙන් රජුගේ සිත තුළ රාජ්‍ය ලෝභී අදහස් ඇති කිරීමට කේවට්ටාචාරීන් විසින් සතර කන්මන්ත්‍රණය උපයෝගී කරගනී. ඒ රජුගේ මගුල් උයනේ දී ය. එකී අවස්ථාව තුළ සිදුවන විශේෂතා කිහිපයක් මෙසේ සාකච්ඡා කළ හැකිය.
- “දේවයන් වහන්ස, කොට පිය යුතු කථාවක් ඇත යි කීහ. ”
- “දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ කන මෑතට නමා ලුව මැනැව. මේ මන්ත්‍රණය සතර කන්මන්ත්‍රණය නම් වන්නේ ය. ”
- “දේවයන් වහන්ස, මේ මන්ත්‍රණය සතර කන්මන්ත්‍රණය නම් වෙයි. අනෙක් කෙනෙකුන් දත නොහැක්කේ ය. ”
- “මෙසේ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටාචාරීන්ගේ අවවාදයෙහි සිට ඒ වේදේහ රජ්ජුරුවන් තබා සෙසු සියලු දඹදිව රජ දරුවන් තමන් නතු කළහ. ”
ඉහත දැක් වූ නිදසුන් මගින් චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ටාචාරීන් අතර සතර කන්මන්ත්‍රණය සිදු වී ඇති ආකාරය පිළිබද ව අවබෝධ කරගත හැකිය.
2. සතර කන්මන්ත්‍රණයට එරෙහි ව මහෞෂධ පණ්ඩිතයෝ ක්‍රියාත්මක වන ආකාරය
චූලනී බ්‍රහ්මදත්ත රජුගේ මගුල් උයනේ දී සිදුවන සතර කන්මන්ත්‍රණය පිළිබද සිය ගිරා පෝතකයාගෙන් මහෞෂධ පඩිතුමාණන් දැන ගනී. එහි දී එතුමා ක්‍රියාත්මක වන අයුරු ජාතක කතුවරයා මෙසේ ඉදිරිපත් කරයි.
- “ කේවට්ටයා මා මහෞෂධ පණ්ඩිත බව නොදනිතී යි සිතමි. “ දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නො දෙමි යි සිතා…. ”
- “උන් වහන්සේ ද ඒ යෝධයනට, මම මෙහි පමාවක් නැත්තෙමි, තෙපි උකටලී නො වැ නොපමා වැ වසව යි කියා යවන සේක. ”
- “මා බදු පණ්ඩිත කෙනකුන් ජීවත් වැ හින්ද දී ම මෙතෙක් රජ දරුවන් මිය යාම යුක්ත නොවන්නේය. උනට මා පිටුවහල් වුව මැන වැ ‘යි සිතා ”
යථොක්ත දැක්වූයේ කේවට්ටාචාරීන්ගේ සැලසුම අක්‍රීය කිරීම පිණිස මහෞෂධ පණ්ඩියන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව යි.
3. කේවට්ටගේ කෛරාටික අවස්ථාවන් ක්‍රියාත්මක වන ආකාරය.
විවිධ චරිත ලක්ෂණයන්ගෙන් සමන්විත වූ කේවට්ටාචාරීන්ගේ චරිතය සමස්ත කතාව පුරාවට ම රචකයා විසින් සහෘදයාට ඉදිරිපත් කරයි. එහි දී වැඩි වශයෙන් ම අපට කේවට්ට මුණගැසෙන්නේ කපටි, කෛරාටික, අඥාන චරිත ලක්ෂණයන්ගෙන් සමන්විත වූ චරිතයක් ලෙසිනි. ඔහු සිතන පතන අයුරු සේ ම ඔහුගේ අදහස් ආදිය මගින් ඒ වග මැනවින් අවබෝධ කරගත හැකිය. සතර කන්මන්ත්‍රණය කොටසින් උපුටාගත් පහත දැක්වෙන නිදසුන් වෙත අවධානය යොමු කර එය තහවුරු කරගත හැකිය.
- “මෙබදු සම්පත් දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අග රජ කළොත් යහපත. එ සේ වුව හොත් මමත් අග්‍ර පුරෝහිත වෙමි‘ යි සිතා… ”
- “දේවයන් වහන්ස, ඇතුළු නුවර දී රහස් කියන්නට නොපිළිවන. මගුල් උයනට යම්හ ‘යි කීහ. ”
- “දේවයන් වහන්ස, මේ මන්ත්‍රණය සතර කන්මන්ත්‍රණය නම් වෙයි. අනෙක් කෙනෙකුන් දත නොහැක්කේ ය. ”
- “මියුලු නුවර රාජ්‍ය නම් ඉතා ස්වල්ප ය, සියලු දඹදිව රාජ්‍ය අපට සෑහෙයි. එක් රාජ්‍යයකින් අපට කාරිය කිම් දැ? යි උපායෙන් රජ්ජුරුවන් ගිවිස්සූහ. ”
4. සතර කන්මන්ත්‍රණය කොටස තුළ කේවට්ට හාස්‍යයට නතුවන ආකාරය.
කේවට්ට යනු කුමන ස්වභාවයේ චරිතයක් ද යන්න කතාව අධ්‍යයනයේ දී අවබෝධ කරගත හැකි වේ. එයින් ජාතක කතා රචකයා විසින් අපූරු අවස්ථාවක් සතර කන්මන්ත්‍රණය කොටස මගින් නිරූපණය කර ඇත. එනම් කේවට්ට හාස්‍යයට නතු වීමයි. මහෞෂධ පණ්ඩිතයන්ගේ ගිරා පෝතකයා මගුල් උයනේ දී කේවට්ටගේ ශරීරයට වර්චස් කිරීමේ සිදුවීමයි. එ තුළින් රසික මුවගට සිනාවක් ගෙන ඒමට රචකයා ප්‍රයත්න දරා ඇති බව මෙසේ ඉදිරිපත් කළ හැකිය.
- “සාල්ලෙක ලාලා පාතට බාන කෙනකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා,. ”
- “උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවැත වර්චස් පිඬක් හෙළා,.. ”
5. සතර කන්මන්ත්‍රණය රසවත් කිරීම පිණිස යොදාගත් භාෂාවේ විශේෂත්වය.
සමස්ත කතාව පුරාවට ම කතුවරයා ස්වකීය නිර්මාණය රසවත් කිරීම සදහා උචිත බස්වහරක් යොදාගෙන ඇති වග පෙනේ. ඒ අනුව එලෙසින් උපයුක්ත කරගත් භාෂාව සතර කන්මන්ත්‍රණය තුළින් නිරූපණය වන ආකාරය මෙසේ සාකච්ඡා කළ හැකිය.
සංස්කෘත භාෂාවට අනුගත වී සමාස පද හා සන්ධි පද යොදා තිබීම.
- “ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත නා නා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය බලන්නාහු… ”
උපමා භාවිත කිරීම.
- “සාල්ලෙක ලාලා පාතට බාන කෙනකුන් මෙන් ”
- “සඳ මඬලෙහි අඳනා කෙනකු මෙන්”
- “සිංහ නාද ඇසූ මුව පොල්ලන් පරිද්දෙන් ”
- “නඳුන් උයන මෙන් සරහන ලද උයනට වැද”
මේ ආදී වශයෙන් සතර කන්මන්ත්‍රණය පුරාවට ම ගැබ් වී ඇති විශේෂත්වය පිළිබද සාකච්ඡා කළ හැකිය. එතුළින් ගම්‍යමාන වන්නේ ජාතක කතා කරුවා සිය නිර්මාණය අනභිභවනීය උත්කෘෂ්ඨ නිර්මාණයක් බවට පත් කිරීමට ගත් ප්‍රයත්නය යි. යථෝක්ත නිදසුන් මගින් එකී ප්‍රස්තුතය සනාථ කළ හැකිය.